(යොහාන් භාසුර)

රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් සියයට 90 ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම්වලට අයත් අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන රජයේ ගොඩනැගලි යටතට ගෙන ඇති බවත් රජයේ රෝහල් සහ පළාත් පාසල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුණ ද මෙවැනිම ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා ක්‍රියාත්මක කරන බැවින් එම ගොඩනැගිලි එම ව්‍යාපෘතිවලට ඇතුළත් කරන බවත් අමාත්‍යවරයා කීය.

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදීගැනීමේ ප්‍රසම්පාදන එම බැංකුව කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.