(යොහාන් භාසුර)

විදේශගතව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ’පැට්ටා මංජු‘ නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසේ බංකරයක සගවා තිබු රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි.

’පැට්ටා මංජු‘ නැමැත්තා රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් බව ද පොලිසිය සඳහන් කළේය.

ඉතා ක්ෂුක්ෂම ලෙස නිවසේ බංකරයක සගවා තිබු මෙම මුදල් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරින් කණ්ඩායමක් එම නිවසේ කළ විශේෂ පරික්ෂාවකදී සොයාගත් බවත් එම නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිටි බවත් පොලිසිය කීය.  

එම කාන්තාවගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පොලිසිය වැඩි දුරටත් සෝදිසි කළ බවත් අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බැද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 පසු වන්නියක් බවත් පොලිසිය පැවසීය.

මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීම සඳහා මෙම සැකකාර කාන්තාව රැදවුම් නියෝග මත රදවාගෙන වැඩිදුර විමර්ශන කරන බව පොලිසිය වැඩි දුරටත් කීය.