(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බවත් මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කීපයක්ම ඇති බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ නීතියට අනුව මාර්තු 20 වැනිදා පෙර රට පුරා පළාත් පාලන 340 ස්ථාපිත කිරීමට නම් අනිවාර්යෙන් පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මස මුල මැතිවරණය පැවැත්විය යුතු බවත්ය.

පාර්ලිමේන්තුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට යෝජනාවක් සම්මත කරගත හොත් එයට අවනත වීමට සිදුවන්නේ යැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ නම් එය නිවැරදි ප්‍රකාශයක් නොවන බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ලබය පාර්ලිමේන්තුව සතුව නොව ජනතාව සතු නිසා පාරිලිමේන්තු යෝජනාවකින් මැතිවරණය කල්දැමිය නොහැකි බව ද සදඟන් කළේය.

මැතිවරණ පැවැත්වීමට මුදල් නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කරන අබූත තර්කයට ඉඩ දෙනවා නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවය බව කී පීරිස් මහතා සඳහන් කළේ රජයේ වියදම වන රුපියල් බිලියන 7600 න් බිලියන 10 ක් වියදම් කිරීම දැවැන්ත ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත්ය.

රජය දිනෙන් දින කිසිඳු පැකිළීමකින් තොරව ටි්‍රලියන ගණනින් මුදල් මුද්‍රණය කර වියදම් කරන බවත් වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති යැයි කිවහොත් ජනමතයක් නොමැති ඔහු ද අඛණ්ඩව බලයේ රැදී සිටිනු ඇති බවත් ඒ මහතා කීය. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ හොත් හතර වන පියවර වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානායක් වන බවට ජාත්‍යන්තර හමුවේ දැඩි මතයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.