(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරු ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම රාජ්‍ය සේවකයන්ට වැටුප් අහිමිවීමෙන් ඔවුන්ගේ පවුල් අද අන්ත අසරණ තත්වයට පත්ව සිටින බවද මන්ත්‍රීවරු දෙදෙනා පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා නිශ්චිතවම පැවැත්වෙන බවට තහවුරු කළ නොහැකි නම් යම් දිනෙක මැතිවරණය පැවැත්වීමෙන් පසු ගැළපීම් කිරීමට යටත්ව මෙම නිලධාරීන් මෙතෙක් ලැබූ ඒකාබද්ධ වැටුපෙන් සාධාරණ ප්‍රතිශතයක් මාර්තු 9වැනිදා සිට වලංගු වන පරිදි ඉදිරියට ගෙවන ලෙසත් ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නා සියලු ආකාරයේ ණය හා පොලී මැතිවරණය පවත්වන දිනය තෙක් තාවකාලිකව අත්හිටුවන ලෙසත් ඔවුහු එම ලිපියෙන් ඉල්ලීමක් කරති.