(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරීම සහ බොරලැස්ගමුවේ පක්ෂ ක්‍රියාකාරිනියකට තර්ජනය කිරීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

අදාල සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය සලකා බැලූ කළ පෙනෙන්නේ රටේ ජනතාව දැඩි ජීවන අරගලයකට මැදිව සිටින අවස්ථාවක ඒ වෙනුවෙන් අරගල කරන කණ්ඩායම් මර්දනය කිරීමට ආණ්ඩුවේ පාර්ශව කටයුතු කරමින් සිටිනවා ද යන සැකය බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. 

"කෝට්ටේ මහනගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක වන හර්ෂණී සඳරුවනි මහත්මියගේ නාවල පිහිටි නිවසට මාර්තු මස 17 වන දින අලුයම 2.00 ට පමණ නාදුනන කණ්ඩායමක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. එම ප්‍රහාරයෙන් මන්ත්‍රිතුමියගේ නිවසට අලාභ හානි වී ඇතත් වාසනාවකට මෙන් නිවසේ කිසිවෙකුටත් අනතුරක් වී නොමැත.

නාගරික මන්ත්‍රීතුමිය විසින් මේ ගැන මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඊට අදාළව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් පෙනෙන්නට නැත. 

බොරලැස්ගමුවේ පදිංචිව සිටින පක්ෂ ක්‍රියාකාරිනියක වන චාන්දනි පතිරගේ මහත්මියගේ නිවසට ද ඉකුත් 14 දා රාත්‍රියේ මුහුණු ආවරණ පැළැඳ ගත් පිරිසක් පැමිණ තර්ජනය කොට ගොස් ඇතැයි ඇය අපට දැනුම් දුන්නා ය.මෙය නිදහසේ තමන්ගේ දේශපාලන මතය දැරීමට ඇති අයිතියට කළ බාධා කිරීමක් වන හෙයින් අගතියට පත් මහජන නියෝජිතයන් හට සාධාරණයක් ඉටුකර දීමටත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.