IMG-LOGO

නිවසේ සිට වැඩ කිරීම යළි ඇරැඹේ

(ඩයනා උදයංගනී)
               

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.                

ඒ අනුව එම ක්‍රමවේදය යළි ආරම්භ කරන ලෙස බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.              

ඊට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත ඊයේ (29) යොමු කර ඇත.               

ඉකුත් අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කෙරුණු “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන ලෙස ද එමගින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.              

වයිරස ව්‍යාප්තිය නිසා සංචරණය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වේ. මේ දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් අවධානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිටා ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතුය.           

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පථය යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකවම බැඳී සිටින බව ලේකම්වරයා එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.              

එක් ආයතනයට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළයුතු සේවකයන් තීරණය කිරීමේ බලය ද ආයතන ප්‍රධානියාට හිමවේ.              

එසේ නිශ්චය කිරීමෙන් පසු අදාළ ලිපි ගොනු සහ උපකරණ නිසි අවසරයක් ඇතිව සේවකයන්ගේ නිවෙස් වෙත ලබාදිය යුතු අතර නිවසේ සිට වැඩ කරන කාලය, උදේ 8.30 - සවස 4.15 දක්වා වේ.               

ඇඳිරි නීතිය පනවා නැති අවස්ථාවක අවශ්‍යතාව අනුව එය වෙනස් කිරීමට ආයතන ප්‍රධානියාට හැකියාව ලැබෙන අතර “නිවසේ සිට වැඩ” සැලැස්මට අයත් නොවන සේවකයන් අතිරේක මානව සම්පත් අවශ්‍ය ආයතන වෙත අනුයුක්ත කළ හැක.               

“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සන්නිවේදන මාධ්‍ය භාවිත කරන්නැයි ද එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.               

කෙටි පණිවිඩ සේවය, විද්‍යුත් තැපෑල, දුරකථන, වට්ස්ඇප්, ස්කයිප් වැනි තාක්‍ෂණයන් ඒ සඳහා භාවිත කිරීමට හැකි අතර නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සැපයීම, ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීමකි.                

මහජනතාවට සිය ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීමට හැකි පරිදි සාමාන්‍ය ජනතාවට ඝෘජුවම සේවා සපයන සියලු ආයතන සම්බන්ධ කරමින් මාර්ගගත වේදිකාවක් නිර්මාණය කළ යුතු බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්ර්ලේඛයේ සඳහන් වේ.             

ස්වයං නිරෝධායනයේ නිරත සේවකයන්ගෙන් නිවසේ සිට වැඩ කරන්නැයි ඉල්ලා සිටීමට ආයතන ප්‍රධානියාට බලය ලබා දී ඇති අතර සුළු වශයෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන සේවකයෙකුට කිසිදු කාර්යයක් පැවරීම නොකළ යුතු බව එහි සඳහන්ය.               

චක්‍රලේඛය මගින් ප්‍රාදේශීය පරිපාලනය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සුබසාධන සේවා සම්පාදනය, ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසාය සහ සාමාන්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට විශේෂිත මාර්ගෝපදේශ නියම කර ඇත.             

පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ආරම්භ කිරීම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශනය,  සුබසාධන සේවා අඛණ්ඩව සැලසීම, ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලටම අවශ්‍ය සේවා සැපයීම ඒ අතර වේ.               

සියලු රාජ්‍ය ආයතන කෙරෝනා වයිරස ව්‍යාප්තිය මර්දනය  සඳහා සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විධිවිධාන අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව ද චක්‍රලේඛයේ දැක්වේ.               

සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කිරීමට අදාළව “ආදර්ශ පරිශ්‍රයක්” ලෙස එක් එක් සේවා ස්ථානය පවත්වාගත යුතු බව ද ඉන් නිර්දේශ කොට තිබේ.               

වරාය හා ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය හා විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
 



අදහස් (0)

නිවසේ සිට වැඩ කිරීම යළි ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 247 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site