(යොහාන් භාසුර)

ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය සංවිධානය කළ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්‍රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුළ  සාර්ථක අභ්‍යසය අවසන් කරමින් පසුගියදා නැවත පැමිණියේය.

මෙම බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට නිලධාරීන් හා නාවිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ටවුන්විල්හිදි සහ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් කැන්බරා නෞකාව තුළ ඒකාබද්ධ පුහුණුවීම් අභ්‍යාසවලට සහභාගි වීමෙන් පසුව පැසිෆික් සාගර කලාපය තුළ  පැවැත්වූ සාගරික අභ්‍යාසය සඳහා සහභාගී විය.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, බෲනායි, කැනඩාව, චිලී, කොලොම්බියාව, ඩෙන්මාර්ක්, ඉක්වදෝර්,  ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, ජපානය, මැලේසියාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, කොරියානු ජනරජය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, ටොන්ගා රාජ්‍ය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 26 ක යුද නෞකා 38 ක්, සබ්මැරීන් 03 ක් ගොඩබිම් බලකා 09 ක්, යුද ගුවන් යානා 170 ක් සමඟ හමුදා සාමාජිකයන් 25000 ක පමණ සංඛ්‍යාවක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ටවුන්විල්හිදි ඕස්ට්‍රේලියා රාජකීය යුද හමුදා  සාමාජිකයින් සමඟ එක්ව සතියක ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනකට සහභාගී වූ අතර, එහිදී කුඩා අවි හැසිරවීම් සහ වෙඩි තැබීමේ අභ්‍යාස, නගර බද මෙහෙයුම්, සටන් පුහුණු සහ ක්ෂේත්‍ර සංඥා ඇතුළු පුහුණුවීම් රැසක් ලැබීය.

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් කැන්බරා නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් කණ්ඩායම හවායි බලා යාත්‍රා කරන අතරතුර,  ඕස්ට්‍රේලියානු සහ ටොන්ගා රාජ්‍යයේ භට කණ්ඩායම් හා එක්ව පිරිස් විසුරුවා හැරීම, නගරබද සටන්, නෞකාවෙන් ගොඩබැසීමේ අභ්‍යාස සහ උභයතරණ අභ්‍යාස ඇතුළු මෙහෙයුම් සැලසුම් කිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත්හ.