ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනී බරපතල ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිහිසුන්ව සිටින බවත්, ඔහුට තීන්දු තීරණ ගැනීමේ හැකියාව නොමැති බවත්, ඔහු ඉරානයේ කොම් ශුද්ධ නගරයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.

නව උත්තරීතර නායක 56 හැවිරිදි මොජ්ටාබා කමේනී, සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව පමණක් නොව, ඔහු සිටින ස්ථානය ගැන විදෙස් මාධ්‍ය අනාවරණය කළ පළමු අවස්ථාව මෙයයි.

මොජ්ටාබා කමේනී යනු ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනීගේ දෙවැනි පුත්‍රයාය. මොජ්ටාබා තුවාල ලැබූ  බව පැවැසෙන්නේ ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඉරානය සමග යුද්ධය ආරම්භ කරමින්, ඇමෙරිකන් හමුදා අයතුල්ලා අලි කමේනී ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙනි. 

එදින එල්ල වුණු ඇමෙරිකන් ප්‍රහාරයෙන්, අලි කමේනී ඔහුගේ වැඩිමල් පුත්‍රයා, දියණිය, දියණියගේ දරුවන් සහ අලි කමේනීග් බිරිඳ ද ජීවිතක්ෂයට පත්වූහ. මොජ්ටාබා කමේනීගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. 
මොජ්ටාබා කමේනී ඉරානයේ උත්තරීතර නායකයා ලෙස තෝරා පත් කර ගැනීම සිදුවූයේ ඊට දින කීපයකට පසුවය.

පෙබරවාරි 28 වැනිදා ප්‍රහාරයෙන් මොජ්ටාබා කමේනී බරපතල ලෙස තුවාල ලැබූ බවත්, ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කළ බවත්, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රුසියාවට රැගෙන ගිය බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා පවසා තිබුණු නමුත් ඒ කිසිවක් තහවුරු නොවිණි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණේ 56 මොජ්ටාබා කමේනී බරපතල තුවාල ලබා ඇතැයි තමන්ට දැනගන්න ලැබුණු බවය. එසේ වුවත්, උත්තරීතර නායක මොජ්ටාබා සිටින ස්ථානය ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි.