(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එම්.ඊ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනි බත් වූවාට පසු  එම නැවට මෙරටින්  පිටවීමට ඉඩදීම කනගාටුදායක තත්වයක් බවත් එසේ කටයුතු කිරීම  සම්බන්ධයෙන්  එම කාලසීමාවේදී අදාල අමාත්‍යාංශය බාරව  සිටි දේශපාලන අධිකාරියටද විදේශ කටයුතු අමාත්‍යංශයේ  ලේකම්වරයාට සහ   නාවික හමුදාපතිවරයාටද  තමා කෙළින්ම චෝදනා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු  මහතා පාර්ලිමේන්තුවේදී අද (30)  පැවසීය.

නැවට  යෑමට ඉඩ දුන්නේ විශාල ප්‍රශ්නයක් පැවතුණු  අවස්ථාවක බව පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා  මේ සමග නාලක ගොඩහේවාගේ නමද ඉදිරියට ඇවිත් තිබෙන බව සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල්  වන්දිය ඩොලර් වලින් මිස රුපියල්වලින් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟවීම කණගාටුදායක බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය  අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)  යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධයෙන්  මුල් අවස්ථාවේදී ඩොලර් කෝටි 700 ක  වගේ වන්දියක් ගැන කතා කළ නමුත් දැන් එය  ඩොලර් කෝටි තුන්සියයකට පහත බැස ඇති බවත් මේ සිද්ධියට අදාළව නඩු දැමිය යුතු යැයි  තමා මුලසිටම සිටින ස්ථාවරය බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

සමුද්‍රීය ආරක්ෂක අධිකාරියට වරාය ඇතුළේ කාර්යාලයක් පවා  නොමැති බවත්  ඇත්තේ කන්ටේනර් පෙට්ටි දෙකක් පමණක් බවත් ප්‍රනාන්දු මහතා කීවේය.