(යොහාන් භාසුර)

ගල්අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ අක්‍රීය කළ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය ලබන ඉරිදා (8) නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් අද (5) පුත්තලමට ළගාවීමට නියමිත බවත් එම තොගය ගොඩබෑමෙන් පසුව එම බලාගාරය සතුව ගල්අඟුරු මෙටි්‍රක්ටොන් ලක්‍ෂයකට ආසන්න තොගයක් නිර්මාණය වන බවත් එම නිලධාරියා කීය.

පෙබරවාරි මස අග වන විට තවත් ගල්අඟුරු නෞකා 10 කට ආසන්න සංඛ්‍යාවක් ලැබීමට නියමිත බව කී එම නිලධාරියා එම ගල්අඟුරු තොගය ලබන අගෝසතු මස දක්වා ප්‍රමාණවත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් අහිමිවීමෙන් වෙනත් මාර්ගවලින් එම ප්‍රමාණය ලබාගැනීමට සිදුවිය.