(අංජුල මහික වීරරත්න)

නියඟය නිසා මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව 
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා දුන් උපදෙස්  පරිදි මෙම විමර්ශනය කර තිබිණි.   

ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය  සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වගා හානි ගැන  සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතය.

වගාහානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරයි.

පසුගිය වසරේ වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුයේ මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බවයි. එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.