(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල නගරයේ පිහිටි නීතිඥවරියකගේ කාර්යාලයට ගිනි තබා එහි ඇති ලිපි ලේඛන විනාශ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ බව කියන මාවතගම ප්‍රදේශයේ පදිංචි ධනවත්  මැණික් ව්‍යාපාරිකයෙක් කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මැණික් ව්‍යාපාරිකයා ලබා දුන් බව කියන රුපියල් 10000 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නීතිඥවරීයගේ කාර්යාලයට ගිනි තැබූ බව කියන පුද්ගලයා ද මේ සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම නීතිඥවරීයගේ කාර්යාලයට ගිනි තබා එහි ලේඛන විනාශ කර තිබුණේ පහුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා ය සැකකාර මැණික් ව්‍යාපාරිකයා ඔහුට අයත් මාවතගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් කෝටි 2 ක මුදලකට පුද්ගලයකුට උකස් කර මුදල් ලබාගෙන තිබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම ඉඩම සින්න වීමට යන බව දැනගත් එම මැණික් ව්‍යාපාරිකයාගේ ඇමරිකාවේ පදිංචිව සිටින සහෝදරයා මුදල් ගෙවා ඉඩම බේරා ගෙන යළි මැණික් ව්‍යාපාරිකයාට ලබාදී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඇමරිකාවේ සිටින සහෝදරයා මෙම ඉඩම යළිත් උකස්කර මුදල් ලබා ගෙන ඇද්දැයි යන්න සොයා බලන ලෙස සිද්ධියට මුහුණ දුන් නීතිඥවරිය ට දුරකථයෙන් කථාකර දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නිඥවරිය එම ඉඩම ගැන සොයා බලන බව දැනගත් මැණික් ව්‍යාපාරිකයා ඊට පළිගැනීමක් වශයෙන් පුද්ගලයකුට රුපියල් 10,000 ක මුදලක් කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇයගේ කාර්යාලයට ගිනි තැබීමට සලස්වා ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය කියයි.