(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වසරේ වෙන් කරන ලද ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂයේ දී නිසි පරිදි යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරියේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇති නව ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ආයතන කිහිපයක් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති  පිළිබඳව අදාළ ආයතන සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සහ නඩත්තුවේදී ඒ ඒ ආයතන වලට නිශ්චිත වගකීම් පැවරීම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ කැලණි ගඟ ආශ්‍රිත ගං වතුර පාලන ව්‍යාපෘතිය ඇතුළු කොළඹ නගරයේ ජල කළමනාකරණ ව්‍යාපෘති, බේරේ වැව ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය මෙන්ම, කොළඹ ආශ්‍රිත රත්මලාන, මොරටුව වැනි ප්‍රදේශවල අඩු ආදායම්ලාභී නිවාස සඳහා විශේෂ වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඇතැම් ව්‍යාපෘතිවල නිසි කළමනාකරණය වෙනුවෙන් විශේෂ ආකෘතියක් අවශ්‍ය බවයි.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්. ජී. හේමචන්ද්‍ර යන මහත්වරු සහ  නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව  , ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යන ආයතන වල ප්‍රධානීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.