(අංජුල මහික වීරරත්න)

 විදෙස් සංචාරක ආකර්ශනයට නතුවන අකාරයට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාල උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ “ඔබට ගෙයක් - රටට හෙටක්”  නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

 ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්‍රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි  ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.