(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතේ 2,3 සහ  7 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8) දැනුම් දුන්නේය.

මේ අනුව එම වගන්ති දැනට පවතින ආකාරයට සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.

කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පාර්ලිමේන්තු කාරක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබීමට  නියමිත සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පනත් කෙටුම්පතෙහි ඉහත සඳහන් කරන ලද වගන්තිවල අනුකූල නැති තත්වය ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ  වැඩිදුරටත් දැක්වේ.

මෙම පනත් කෙටුම්පත  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කෙරුණේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)  ව්‍යවස්ථාව ප්‍රකාරවය.

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී  මෙම  තීරණය දැනුම් දුන්නේය.