(සුජිත් හේවාජුලිගේ )

දුම්රිය රියදුරන් ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටවූ බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ දුම්රිය වර්ජනයක් ඇති වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බලපෑමක් ඇතිවිය හැකි හෙයින් රජය එම තීරණය ගත් බවයි.

සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රවාහන අපහසුතා ඇතිවී යම් පාඩුවක් සිදුවුවහොත් ජනතාවාදී රජයක් ලෙස එය දැරිය නොහැක්කක් බවද ඔහු සඳහන් කළේය.