
(අංජුල මහික වීරරත්න)
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
“ආයුබෝවන් ආදරණීය පුරවැසියනි,
සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි.
මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.
ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.
ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා.
වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා.
මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය බව මම විශ්වාස කරනවා.
මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.
ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.
ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.
එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කළා. ඒ ගැන මම සතුටු වෙනවා.
මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.
මම නිවැරදි මාර්ගයේ ගොස් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
ඉතාම අභියෝගාත්මක වැල් පාලමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරිම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.
වැල් පාලමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.
ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාල අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.
මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුම දෙනාටත්, මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ එදා පලාත් පාලන මැතිවරණය විහිලුවට නොගෙන නිසි වේලාවට පැවැත්වුනා නම් අද ඔබට ඉහල පිලිගැනිමක් ලැබෙන්න තිබුනා
වැල් පාලමින් අනතුරුදායක ගමනක් දරුවාට යන්න සිදුවුණ ඛව ඇත්ත. ලංකා ආණ්ඩුවල බලවත් නිලතල වරින් වර දීර්ඝ කාලයක් දැරූ ඔබ දරුවාව අනතුරේ දැමීමේ මූලිකයෙකි. අපි හැමෝම අඩු වැඩි වශයෙන් එයට දායකවී ඇත. අද අපේ වගකීම වන්නේ රට ගොඩගැනීමට නව ජනාධිපතිට උදව් කිරීමයි.
දුෂ්කර කාලයක දී වගකීම් භාරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව ධුරයෙන් සමුගෙන යන ඔබට ආයුබෝවන්!
ලංකාව ගොඩ ගත්තා යැයි කීම මුලාවක්. ණය ගෙවන්නේ නැතිව මිනිස්සු ලයිට් බිල්, වතුර බිල්,ඉන්ධන සෑම එකකින් ම හූරගෙන කාල භාණ්ඩාගාරය පිරිවිම තාවකාලික සතුටක් . ඒකෙ ප්‍රතිඵල තමා මේ ලැබුණේ . විදෙස් ගත ලාංකිකයන් වැඩි වෙනකොට ලංකාව ට එව මුදල් වැඩිවීමස්වාභාවිකයි. නමුත් අද වෙනතුරු අපනයන ආර්ථිකය නංවන්න කිසිම වැඩ පිළිවෙළක් නැහැ .
මෙයාට අන්තිම වෙනකන් දිනන්න චාන්ස් එකක් තිබ්බ වගේ පෙනුන හින්ද හොඳයි , නැත්නම් මේ කපේට ඔය මැතිවරණය තියන්න දෙන්නේ නැහැ
ලංකාවේ මිනිස්සු ලංකාවේ දරුවාව අනාථ කරලා ඉවරයි...
අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, පසුගියදා පැවැති ජනාධිපති මැතිවරණයේදී චන්ද දායකයින් නව ජනපති වරයෙක් තොරා ගන්නා ලදී. ජනාධිපති වශයෙන් ඔබ තුමා කල නිහතමානී අවසාන කථාව අගය කල යුතු වෙනවා. වසර දෙකක කෙටි කාලයකින්, අගාධයකට වැටී තිබුණ රට සුරපුරයක් කිරීම ශ්‍රක්‍රයාට වුවත් අපහසු බව අපි දනිමු. ඔබතුමා ඒ කාලය තුළදී කල සෙවයට අපගේ ස්තුතිය පුද කරන අතර තව දුරටත් ඔබට මව් බිම වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා, දිගාසිරි ලැබෙවායි පතමු !!?
දරුවාව ඔබ අරක්ශාකලේ ඔබේ ආරක්ෂාව පතා බව අපි දන්නවා. ඒනිසා " පෙර වැරදි "වලට අධිකරණයේදී දඬුවම් විඳීමට දැන් සුදානම් වෙන්න.
අවුරුදු 47 ක් මේ රට නමැති ළමයා ලොකුකළේ නෑ... අබ්බගාතයෙක් කළා. හිඟන්නෙක් කළා. ලෝකයාට කොන්කළා... දැන් බොරුවට කයිවාරු ගහනවා.
මේ කියන්නේ අර අල්ලපු ගෙදර මෑන් පැනලා යද්දී උප්පැන්නෙට ළමයාගේ පියා කියලා නම දීපු දරුවා නේද?
ඔබතුමා ගැන සිතන විට රටේ ජනතාව සමග ඔබතුමාත් පෙර ආත්මවල යම් ලෙසකින් කුමක් හෝ පාපකර්මයක් කරන්න ඇති. ඒත් පසුගිය දෙවසරේ කරපු කටයුතු නිසා මේ වනවිට ඔබතුමා ඉන් නිදහස් වුණත් ජනතාව එයින් නිදහස් වෙලා නැහැ. අපිට මතක හැටියට 2005 ජනාධිපතිවරණය වෙලාවේ පක්ෂයේ හිටපු මොරගොඩගේ දුරදිග නොබලා කරපු කතාවක් නිසා ඔබතුමා ඉතාමත් අඩු ඡන්ද ගණනකින් පරාජයට පත්වුණා. මෙවර පක්ෂයේ හිටපු දෙවැනියා ගාල කඩාගත් කවුද වගේ කඩාගෙන යාමෙන් පෙනි පෙනී තිබුණු ජයග්‍රහණය අහිමි වුණා. කොහොම වුණත් ප්‍රේමදාස අප්පා පුතාණෝලා ආරම්භ කළ එජාපයේ විනාශය අවසන් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා... ඔබතුමාටත් මැතිණියටත් නිදුක් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා... වත්මන් ජනාධිපතිතුමාටත් රටේ සංවර්ධනය සඳහා වාසනාව උදාවේවා..! තෙරුවන් සරණයි...!
ඔබ මේ රටට කළ කී දෑ අවබෝධ කර ගත් ජනතාවක් සහ අවබෝධ නොකර ගත් ජනතාවක් සිටියි. මා සිතන විදියට ඔබ කළ කී දෑ ගැන නොදැන සිටි පිරිස වැඩි බව අවසන් වූ මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වා ඇත. කෙසේ වෙතත් අභියෝගය බාරගැනීමට කිසිවෙකු නොසිටි අවස්ථාවේදී ඒ අභියෝගය බාරගෙන ඔබ කළ දෑ ගැන දන්නා පිරිසක් මේ රටේ සිටීමද භාග්‍යයකි. අදට වඩා හෙට ඔබ අපට අගෙයි රනිල් කියන්න දවසක් ඇතැයි කියන්න දන්නෙත් දුරදක්නා නුවණක් ඇති ඔබටම බව හැඟීමයි. අනේක වාරයක් ස්තූතියි... ජනපතිතුමනි, ගිනිගත් රටක් නිවා දැමුවාට. ඔබගේ පාලන කාලයේදී පැවැත්වූ මෙම මැතිවරණය ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය බැව් නිරීක්ෂණ සංවිධාන පැවසීමද ඔබට වඩාත් ආඩම්බර විය හැකි කරුණකි. නව ජනපති අනුර කුමාරට සුබපතමින් එතුමාගේ ධුරයේ කාර්යය සාර්ථක වේවායි පැතීමට තරම් නිහතමානි වෙමින් කුහක නොවූ චරිතයක් හිමි ඔබට ජාතියේ ප්‍රණාමයද හිමිය.
රට මෙතෙක් සුරැකි ජනපතිතුමනි, දුශ්කර් මොහොතේ රට රැකබලා ගත් ඔබ ගැන අපට ආඩම්බරයකි. තවද මහජනතාවගේ තීන්දුව පිළිගත් සුමට බල හුවමාරුවකට ඉඩදුන් ඔබට අපගේ උත්තමාචාරය...
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 32%වත් නැති කෙනෙක්ට අවුරුදු 40ක් පැරණි ව්‍යවස්ථාවට අනුව අනාගතය බාරදී බලා හිටිමු. නැවත පෝලිම්වල ලගින්න වුණොත් ඡන්දය දුන් ලක්ෂ 56ට දුක දැනේවා!!!
ලංකාවේ ආර්ථික තත්වය තියෙන්නේ කොතනද කියන එක ගැන බහුතරයක් ජනතාවට කිසිම අදහසක් නෑ. හේතු මොනවා උනත් රට බංකොලොත් වුණා. ඊට පස්සේ කරන්න තියෙන ප්‍රධානම දේ වෙන ඒකෙන් ගොඩ එන විදියක් හොයන එක ඔබ ඉතා සාර්ථකව කලා. නමුත් අනිත් අයගේ කතාවලින් ජනතාව නොමග ගියා. නොමග යාම ඔවුන්ට අළුත් දේකුත් නෙවෙයි. 2019 දිත් නොමග ගිහින් අනේක විද දුක් වින්දා. ඒවා කොහොම උනත් ඔබ එඩිතරව ඉදිරිපත් වෙලා කල විශේෂ කාර්යභාරය ඉතා ඉහලින් අගය කරනවා.
අපි තෙල් පෝලිමේ , ගෑස් පෝලිමේ සහ කිරි පිටි පෝලිමේ ඉදපු යුගය කෙසේ අමතක කරන්නද ? හොදටම දන්නා කරුණක් නම්, ඔබ තුමා දිවා රාත්‍රී වෙහෙසෙමින් ජාත්තන්තරය සමග සම්බන්ධවී අප රට අගාදයෙන් බේරාගන්න වෙහෙසුණා. ඔබට සියලු දෙවිදෙවතාවන්ගේ පිහිට ලැබේවා ! බුද්ධ ධර්ශනයේ මුලිම්ම පෙන්නුම් කරන්නේ ' සත් සතිය ' . ඔබට මාගේ ප්‍රණාමය .
ස්තුතියි සර්. ආචාර කරන්න. නව ජනාධිපතිට සුබ පැතුම්. අනුර සහෝදරයා. ඔහු ශ්‍රී ලංකා බබාව ආරක්‍ෂිතව රැගෙන යයි කියා බලාපොරොත්තු වෙනවා
හිටපු ජනපති තුමනි මම දකින ඔබගේ තිබෙන ලොකුම දුර්වලතාවය තමයි රටේ ජාතික සම්පත්, භුමිය වැනි දේ ගැන ඔබට කිසිදු හැඟීමක් නොමැති බව. ඔබ යම් විදියකින් රටේ සම්පත් නිසි අය යොදවා ආදායම් උල්පත් බවට පත් කළා නම් ඔබගේ සියලු දේ ජනතාව අනුමත කල හැකිව තිබුණි. නමුත් ඔබ ඒවා සියල්ල සින්නක්කරයටම වෙනත් රටවලට විකුණා දැමීම ප්‍රතිපත්තිය කර ගත්තා. කවුද කෙසේද ඔය කැත පුරුද්ද ඔබට ඉගැන්වුයේ? මට හිතෙන්නේ ඔබ සිංගප්පුරුවේ මොඩලය වැරදි විදියට තේරුම් ගත්තු අයෙකු කියලා. දැන් බලන්න හම්බන්තොට වරාය නිසි පරිදි කළමනාකරණය කරලා රටට ආදායමක් වගේම එහි අයිතියත් තබාගෙන පවත්වා ගෙන යන්න ඔබ කටයුතු කලේ නැහැ නේද? කුණු කොල්ලෙට වික්ක. අද චීනා එකෙන් හොඳට හම්බ කරනවා අපට තඹ දොයිතුවක් නැහැ හැබැයි අපි ණය ගෙවනවා.තව ටික දවසක් ඔබ බලයේ සිටියා නම් අපිට මිනියක් වළ දමන්න වත් ඉඩමක් හොයා ගන්න වත් බැරිවේවි. ඉතින් තවත් ඔබ සාර්ථක නායකයෙක් කියලා ඔබටම හිතෙනවද? ඒ නිසා දැන් ඔබ ඉවත්ව යන ඒක තමයි හොඳ.
හොරකම් කරන්නෙ කොහොමද එවා වහන්නේ කොහොමද කියලා බැදුම්කර ගනුදෙනුවෙන් රටටම ඉගැන්නුවා හොරුන් රකින්නේ කොහොමද කියලත් ඉගැන්නුවා පක්ෂ කඩා දේශපාලනය ගද ගහන කුනුවලක් කරපු නියමුවෙක් ! දැන්වත් අගමක් දහමක් අදාහගෙන මතුගමනට පිනක් කරගෙන ඉන්න පුරුදුවෙන්න
ඇති යාන්තම් වැල් පාලම දැන් වෙන අතක් බලාගන්න.. දේශද්‍රොහියා සෙට් එකත් එක්ක සාටකයෝ ඇතුළුව වෙන කොහේට හරි ගිහින් විහිළු කර කර පාටි දාගන්න
දරුවාව කෑලි කරලා විකුණන්නනේ ලෑස්ති වුනේ...!