(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික  වර්ෂාව හේතුවෙන්  ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකකට රතු නිවේදන ඇතුළුව දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක් සඳහා පළමු, දෙවන සහ තෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) පෙරවරුවේ නිකුත් කර තිබේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කර ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, අයගම, සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

එයට අමතරව,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල, සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේනයද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට ගෙවී ගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක්ද, දෙවන මට්ටමේ  නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවු වර්ෂාපතනයක්ද, තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලට මිලි මීටර් 150 ඉක්මවු වර්ෂාපනයක්ද ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.