(ඩයනා උදයංගනී)

රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී දේශපාලනඥයන් තමන් සමඟ ගමන් කරන පෙරගමන් හා පසුගමන් රථ අඩුකර රටට ආදර්ශයක් ලබාදිය යුතු යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනපති, අගමැති, විපක්‍ෂනායක ඇතුළු සුවිශේෂී ආරක්‍ෂාවක් සහිතව ගමන් කළ යුතු ප්‍රභූන් සිටින බවත්, ඔවුන් හැර අනෙක් අය මේ මොහොතේ තම කැපකිරීම රට ඉදිරියේ ඔප්පු කළ යුතු බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී දේශපාලනඥයා අරපිරිමැස්ම ගැන පරමාදර්ශී චරිතයක් විය යුතු බව කී ඇමතිවරයා ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා කෑන් තබාගෙන පෝලිමේ සිටියදී දේශපාලනඥයන් පෙරගමන්, පසුගමන් රථ 5ක් 6ක් සමඟ ගමන් කරනවා නම් ජනතාවට කෝපයක් ඇතිවන බව කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
තමන් එදා සිට හැමවිටම තනි රථයකින් ගමන් බිමන් යන දේශපාලනඥයෙක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.