IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘දරුවන් මුහුණ දෙන අභියෝගවලට ඉලක්කගත විසඳුම් අවශ්‍යයි’

(හර්ෂණ තුෂාර සිල්වා)

දරුවන් විවිධ අවස්ථාවලදී මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවත් ඒවාට වෙන වෙනම, විශේෂිත සහ ඉලක්ක ගත විසඳුම් සැපයිය යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (2) පැවැසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) එක්ව මෙම දෙදින සමුළුව සංවිධානය කර තිබිණි. 

 ගැටුම්කාරී සමාජයක ජීවත්වන දරුවන් මුහුණ දෙන අභියෝග සහ පොහොසත් සමාජයක දරුවන් මුහුණ දෙන අභියෝග වෙනස් බවද ඒ අයුරින්ම විවිධ සමාජ සහ ජනකොටස්වල සිටින දරුවන් මුහුණ දෙන අභියෝග එකිනෙකට වෙනස් බවද ඒ මහතා කීවේය. 

කතානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.

“විවිධ ජන කොටස්, විවිධ සමාජ පසුබිම් සහ සමාජ මට්ටම්වල ජීවත්වන දරුවන් මුහුණ දෙන අභියෝග දුෂ්කරතා වෙනස්. දියුණු සංවර්ධිත රටවල දරුවන් මුහුණ දෙන අභියෝග සහ දුෂ්කරතා තිබෙනවා. දුප්පත් සහ දරිද්‍රතාව උපරිමයෙන් තිබෙන සමාජ පසුබිම්වල සහ ගම්මානවල ජීවත් වෙන දරුවන් මුහුණ දෙන අභියෝග වෙනස්. මේ අභියෝගවලට වෙන වෙනම විසඳුම් සොයන්න ඕනේ. ඒවාට විශේෂිත ප්‍රවේශ සහ ඉලක්ක ගත විසඳුම් සෙවිය යුතුයි. ඒ වගේම විසඳුම් සෙවීමට විශේෂිත කුසලතා ඇති ප්‍රතිපත්ති සම්පාදකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් අවශ්‍යයි. ඒ වගේම මේ විශේෂිත වුවමනාව සහ අවශ්‍යතාව තේරුම් ගන්නා මහජන නියෝජිතයන් අවශ්‍යයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. ඒ වෙනුවෙන් විශේෂ කැප කිරීම් කළ යුතුයි. විශේෂ වෙහෙසක් මහන්සියක් ගන්න ඕනේ. ඒ වගේම මෙහිදි ආගමික, වාර්ගික සහ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් සංවේදී වෙන්න ඕනේ.

ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ආකෘතියක් ලෙස ගන්න පුළුවන්. අවුරුදු 30ක යුද්ධයේදී අපි අපේ දරුවන් ආරක්ෂා කරගත්තා. එල්.ටී.ටී.ඊ ය සමග පැවැති යුද්ධයේදී අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යනාදී සංවිධාන හා එක්ව දරුවන්ගේ විභාග පැවැත්වූවා. දරුවන් විභාගවලට සහභාගී කෙරෙව්වා. සටන් විරාමවලට එළැඹෙමින් දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් පැවැත්වූවා. ඒ වගේම අපි හැමෝම දරුවන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම එරෙහිව පියවර ගත්තා.

අද වනවිට නව තාක්ෂණයද දරුවන්ට අභියෝගයක් සහ තර්ජනයක් වී තිබෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යය. නව තාක්ෂණය, සයිබර් අවකාශය යනාදිය දරුවන්ට අවශ්‍යයි. එහෙත් ඒවායින් තර්ජනයක් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි. ඒ නිසා දරුවන්ගේ එම අවශ්‍යතා අපි සැපයිය යුත්තේ දැඩි පරීක්ෂාවෙන් සහ විමසිල්ලෙන්. 

වාර්ගික, ජාතික සහ ආගමික සම්ප්‍රදාය තවත් කරුණක්. නූතන සමාජයේ ජීවත් වන දරුවන්ට පැරණි වාර්ගික, ජාතික සහ ආගමික සම්ප්‍රදායන් බලපෑම් කරන්න පුළුවන්. එවැනි පිළිවෙත් සහ සම්ප්‍රදායන් දරුවන්ට අනිසි සහ ඍණාත්මක බලපෑම් එල්ල කරන පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැනි අපි ඉතාම පරෙස්සමෙන් කටයුතු කරන්න ඕනේ.” 

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් කුෂානි රෝහණධීර, ජාත්‍යන්තර ළමා අරමුදලේ (යුනිසෙෆ්) කලාපීය අධ්‍යක්ෂ ජීන් ගොෆ්, සාර්ක් ලේකම් කාර්යාලයේ (දකුණු ආසියානු සහයෝගීතාව සඳහා වූ කලාපීය සංවිධානය) සමාජ කටයුතු අධ්‍යක්ෂ රිෂ්ෆා රෂීඞ්, පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, ළමා අයිතිවාසිමකම් සුරැකීමේ ප්‍රඥප්තිය පිළිබඳ නිරීක්ෂණ කමිටුවේ විශේෂඥ සාමාජික ආචාර්ය හිරන්ති විජේමාන්න යන මහත්මීහු සහ තරුණ ක්‍රියාකාරීනි කාවින්ද්‍යා තෙන්නකෝන් යන අය මෙහිදි අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෛක්කලනාදන්, විශේෂ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීහු, සාර්ක් කලාපයේ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

තෙවැනි වරටත් පැවැත්වෙන මෙම සමුළුව වාර්ෂිකව පැවැත්වෙන අතර සමුළුව හෙටින් අවසන් වේ. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
 



අදහස් (0)

‘දරුවන් මුහුණ දෙන අභියෝගවලට ඉලක්කගත විසඳුම් අවශ්‍යයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site