(යොහාන් භාසුර)

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතිය අද (5) පස්වරුවේ හදිසියේ බිදවැටීම හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාත ඇතුළුව ප්‍රදේශ රැසකට මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමඟ සංඥා පද්ධතිය බිදවැටුණු බවත් එය යථාතත්වයට පත්කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

වර්ෂාව අඛණ්ඩව පැවතීම හේතුවෙන් සංඥා පද්ධතිය යථාතත්වයට පත්කිරීම ප්‍රමාද වියහැකි බවත් ඉතාම ඉක්මනින් එය යථාතත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.

වර්ෂාව හේතුවෙන් දුම්රිය ස්ථාන සහ මාර්ග පද්ධතිය ජලයෙන් යටවී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව දුම්රිය දුම්රිය ප්‍රමාදයට එයද හේතු වී ඇති බව ද සඳහන් කළේය.

මේ අතර කොළඹ නගරයට අද සවස් කාලයේ  ඇදහැලෙන අධික වර්ෂාත් සමග කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි. කොළඹ නගරය තුළ දැඩි  රථවාහන තදබදයක් පවතින බවද පොලිසිය දැනුම් දෙයි.