(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තාවල සඳහන් වන්නේ යැයි  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මේ අතර ලෝක ආහාර වැඩසටහනේ  නවතම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බවත්   සියයට 70 ක්  පමණ ආහාර වේල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු කර ඇති බවත්  එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ   මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය කෙරුණේ එම රැස්වීමේදීය.

දැනට ප්‍රමාණවත් ආහාර නොලබන බොහෝ දරුවන් ශරීරයේ ගබඩා කර ඇති සංචිත භාවිතා කරන නමුත් ඉදිරියේදී අඛණ්ඩ පෝෂණ උණතා ඔවුන්ගේ ශරීර වර්ධනයට බලපෑම් ඇති කරනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බවද  එම කමිටුව සඳහන් කරයි.