(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම ආසන්නයේ දී අද (26) පස්වරුවේ දුම්රියක ගැටුණු පුද්ගලයකු බරපතළ තුවාල ලබා  බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්ල  කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය .

දුම්රියේ ගැටුණු මෙම පුද්ගලයාගේ වම් පාදයේ කොටසක් සහ වම් අතේ කොටසක් ශරීරයෙන් වෙන්වී තිබූ බව පොලිසිය පැවැසීය.
බදුල්ල  මහනුවර අතර  ධාවනය වෙමින් තිබූ භාණ්ඩ දුම්රියට මොහු ගැටි ඇතැයි පොලිසිය පැවසීය .

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය මාර්ගය ආසන්නයේ ලේ සහිතව වැටී  සිටියදී ඒ අසලින් ගමන් ගත් අයෙකු දැක ලබා දුන් තොරතුරක් මත වහාම සුවසැරිය 1990 ගිලන් රථයක් මගින් තුවාලකරු බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කීය.

තුවාලකරුගේ වෙන්වූ පාදයේ කොටස සහ අතේ කොටස අයිස් දැමූ පෙට්ටියක දමා රෝහලට රැගෙන ගියද එම පාදයේ මෙන්ම අතේ කොටස  ඒ වනවිටත් නැවත බද්ධ කිරිමට සුදුසු තත්ත්වයේ නොතිබුණු බවත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය  නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .

දුම්රියට හසු වීමෙන් එම පාදයේ සහ අතේ වෙන්වූ කොටස්වල සියුම් මෙන්ම අනෙකුන් රුධිර නාළ ද විනාශ වී තිබූ බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .