(ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අද (15) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දැදුරුඔය පෝෂක ප්‍රදේශ වලට දින කීපයක සිට ලැබෙන වර්ෂා තත්වය හේතුවෙන් අද අලුයම වන විට ජලාශය පිටාර මට්ටමට ආසන්න වූ බවද ඉංජිනේරුවරයා කීය.

 මේ වන විට ජලාශයේ ජල මට්ටම මීටර් 70.61 ලෙස පවතී. එහි පිටාර මට්ටම මීටර් 70.79 කි.

ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 3 බැගින් විවෘත කිරීම හේතුවෙන් මේ වනවිට ජලාශයෙන් දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 8400 ක ජල පරිමාවක් මුදා හැරේ.  මෙම තත්වය දැදුරුඔය ජලාශය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.