(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම වෙනුවෙන්  සිවිල් සමාජ සංවිධාන සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක්  අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලාශ්‍ර කර ගනිමින් දීමනා ගෙවීම සම්බන්ධව සහ සුරක්ෂිතතා කඳවුරු සම්බන්ධ තොරතුරු පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියා මාර්ගයන්හි වත්මන් තත්ත්වය පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා  අග්‍රාමාත්‍යවරියට  ඉදිරිපත් කළේය. රජය ප්‍රකාශයට පත් කළ සහන සහ වන්දි ලබා ගැනීමේ දී ඉඩම්වල නීත්‍යානුකූල හිමිකමක් නොමැති දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වතුකර ප්‍රජාවගේ ඉල්ලීම් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙහිදී පැවැසූයේ සුළිකුණාටුව  මගින් සිදු වූ හානිය යථා තත්ත්වයට පත්කිරීම හා එම ක්‍රියාවලියට අදාල කමිටු හා අනුකමිටුවල වැඩපිළිවෙල කඩිනම් කිරීමට සැලසුම් කර ඇති බවයි.  නිවාස 20,000 ක් අලුතින් ඉදි කිරීමටත්, අර්ධ හානි නිවාස එක්ලක්ෂ පහළොස් දාහක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය.

නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් දැනටමත් ඇති අය සඳහා රජය විසින් ලබා දීමට නියමිත රුපියල් මිලියන 5 ක මූල්‍ය ආධාරය ලබා දීමටත්, ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීණ ඉදිකිරීමටත් සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.