උතුරු කොරියාව ඊයේ (04) සිදුකළ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ජපාන මුහුද ලෙස ප්‍රසිද්ධ නැගෙනහිර මුහුදට මිසයිල හතරක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව අද (05) ප්‍රකාශ කළේය.

දකුණු කොරියාව සහ ඇමෙරිකාව නැගෙනහිර මුහුදේ පුහුණු ඉලක්ක වලට මිසයිල දෙක බැගින් එල්ල කළ බව දකුණු කොරියානු මාණ්ඩලික ප්‍රධානීහු අද (05) පැවසූහ.

දකුණු කොරියාව මිසයිල දෙක ජපාන මුහුදට එල්ල කරන අවස්ථාවේ එක් මිසයිලයක් දියත් කිරීම අසාර්ථක වී ඇති අතර සිද්ධිය සිදු වී පැය 7කට පසු දකණු කොරියා හමුදාව එක් මිසයිලයක් දියත් කිරීම අසාර්ථක වූ බව පිළිගනිමින් සමාව ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එම අනතුරින් ජීවිත හානි සිදු වී නැතැයි දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කර ඇත.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්, උතුරු කොරියාව ඊයේ (04) සිදුකළ මිසයිල අත්හදා බැලීම "ප්‍රකෝප කිරීමක්" ලෙස හැඳින්වූ අතර එයට  "දැඩි ප්‍රතිචාරයක්" ලබා දෙන බවට පොරොන්දු විය.

ගන්ග්නංග් නගරයේ ඇති වූ ගින්නෙන් ජනතාව කලබල වීමෙන් පසු සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු කොරියානු හමුදාව සමාව අයැද සිටි මුත් ඒ සඳහා පැය 7 ක කාලයක් ගත වී තිබේ.

අවසන් වරට උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2017 වසරේ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මෙම මිසයිල අත්හදා බැලීම පැහැදිලිවම යුද උණුසුම උත්සන්න කිරීමක් බව ප්‍රකාශ කර ඇත.