(අංජුල මහික වීරරත්න,මහේෂ් කීර්තිරත්න සහ ඇම් ඩබ්ලිව් සෝමරත්න)

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරිසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300  නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි. 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය 20 වැනිදා සිට ජූලි 27 වන දා දක්වා  මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ. 

මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ  මහානා හිමිට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රී පාදස්ථානාධිපති  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ  ධම්මදින්න නා හිමිට සහ මුගුණෙවෙල  අනුරුද්ධ හිමිට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන  උපසම්පදා  විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද සමරු තිළිණයක්  පිළිගැන්විණි.

රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද  "පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය"   මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.