(නිමන්ති රණසිංහ)

එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ව සිට මියගිය රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ නගරයේ හෝ ඒ අවට අනුස්මරණ උත්සව පවත්වා ඉන් සාමය කඩවීමේ සහ මහජන පීඩාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය පියවරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ පොලිස් ස්ථාන 12කට අද (19) නියෝගයක් නිකුත් කළේය.

මෙම අනුස්මරණ ගුණසමරුව පැවැත්වුවහොත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන පනතේ 106 (01) වගන්තිය අනුව මහජන පීඩාවක් සහ අනතුරක් සිදුවන අයුරින් මෙන්ම මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් එය අත්හිටුවීමේ ආඥාවක් නිකුත් කරන ලෙසට කොළඹ අවට පොලිස් ස්ථාන කිහිපයක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

2011 වර්ෂයේ අගෝස්තු 29 වන දින 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිකුත් කළ 1721/2 දරන ලේඛණයෙන් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙසට නම් කර ඇති බවත්, මේ හේතුවෙන් එම තහනම් සංවිධානයේ හිටපු සාමාජිකයකු සිහිකිරීමේ අනුස්මරණයක් පැවැත්වුවහොත් එමගින් රටේ සාමකාමී මහජනතාවගේ සාමයට බාධාවක් වනු ඇති බවත් කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

සන්ජුලා ඕෂනී පීටර්ස්, තරිදු උඩුවරගෙදර, ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතු`ථ එම සැමරුම සදහා සහභාගී වන සියලුම අය වගඋත්තරකරුවන් කරමින් කෙසෙල්වත්ත පොලීසිය මෙම කරුණු වාර්තාකිරීම අධිකරණයට කර තිබිණී.

කෙසෙල්වත්ත, පිටකොටුව, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, වේල්ලවීදිය, කොටහේන, දෙමටගොඩ, වැලිකඩ, බොරැල්ල සහ කුරුදුවත්ත යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් අධිකරණයට පැමිණ මෙම ඉල්ලීම සිදුකළහ.