(හේමන්ත ද සිල්වා සහ නිමල කොඩිතුවක්කු)

ත්‍රස්තවාදයට අප රටේ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද අප රටේ ඉඩක් නොමැති බවත් සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී හැම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අන්තවාදය ඇතැම් පක්ෂ භාවිත කළ බවත් විපක්ෂ නායක වරයා පැවසීය.

ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතු භාවය විනාශ කළ බවත් ගාල්ල සහිරා විදුහලට වසර 100 සැපිරීම නිමිත්තෙන් පැවති  උත්සවයකට එක්වෙමින් ඔහු පැවසීය.

යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන්  ජාතිවාදය ඇවිස්සූ බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

වඳ කොත්තු, වඳ සැත්කම් කිය චෝදනා කරමින් වෛද්‍ය සාෆිගේ වැඩතහනම් කළ බවත් කොවිඩ් සමයේ දී ආදාහනය භූමදානය යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් එයට විරුද්ධව මහපාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.