(අජන්ත කුමාර අගලකඩ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව ප්‍රතිතස්ත පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පතට අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

තිලක් මාරපන පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් සහ තලතා අතුකෝරල ඇමැතිනිය ඇතුළත් කමිටුවක් මගින් ඉදිරිපත් කරන ලද කරුණූ ඇතුළත් කරමින් මෙම කෙටුම්පත සකස් කර ඇත.

ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වයෙන් ඉන්දියාව , බ්‍රිතාන්‍ය ඇතුළු රටවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ආදියත් සැලකිල්ලට ගෙන මෙම නව කෙටුම්පත සකස් කර ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තවාදය යන්න පුළුල් අර්ථකතනයකට ලක් කරමින් සකස් කර ඇති එම කෙටුම්පත අන්තර්ජාලය හරහා කෙරෙන ත්‍රස්තවාදී කටයුතු ආදිය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර සකස් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිතස්ත පනතක් ගෙන ඒම සඳහා පනත් කෙටුම්පනතක් මීට මාස කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ විරෝධය හමුවේ එය මෙතෙක් විවාදයට ගෙනනැත.