(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ කර්මාන්තශාලාවේ සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර අද (7) දිනය වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු නියමිත ප්‍රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ බාධක මධ්‍යයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය ක්‍රියාත්මක කළ බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක ආහාර සංවිධානය සහ පෞද්ගලික ආයතනයක් මැදිහත්වීමෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන බව කියන සභාපතිවරයා ගර්භනී සහ කිරිදෙන මවුවරුන්ට මෙන්ම වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ මේ වන විට සපයන බව ද සඳහන් කළේය.

වයස මාස 6 ත් අවුරුදු 3 ත් අතර දරුවන්ගේ ත්‍රිපෝෂවලට අදලා නිර්නායකයන් සම්බන්ධයෙන් පරස්පරතාවක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය එම ගැටලුවට විසඳුමක් දෙන්නේ නම් එම වයස් කාණ්ඩයේ දරුවන්ට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා වැඩි දුරටත් කීය.

වයස මාස 6 ත් අවුරුදු 3 ත් අතර දරුවන්ට ත්‍රිපෝෂ නොලැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවැති ආන්දෝලනාත්මක තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මෙම පැහැදිළි කිරීම කර තිබේ.