(යොහාන් භාසුර)

තංගල්ල, බෙලිඅත්ත පාරේ උපකාරක පංතියකට සහභාගි වීමට යමින් සිටි උසස් පෙළ සිසුවකුට අමානුෂික ලෙස පහර දී පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පහර කෑ සිසුවාගේ හිසට සහ ඇස්වලට හානි සිදුවී ඇති බවත් ඔහු තංගල්ල රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබා වැඩි දුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යොමු කර ඇති බවත් උපකාර පංතිය අසළදී සිසුවාට පහර දී පැහැරගෙන ගොස් ඔහුගේ ලේ තැවරුණු ඇඳුම් නිසවකදී ගලවා වෙනත් ඇඳුම් ඇන්දවා නැවත උපකාර පංතිය අසළට ගෙනත් දමා ඇති බවත් පොලිසිය කීය.  

අත්අඩංගුවට ගැනීමට සොයන වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සිසුන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කී එම පොලිස් නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ සෙසු පුද්ගලයන් හදුනාගැනීම සඳහා ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ද සඳහන් කළේය.

පුද්ගලයන් 20 ක පමණ කණ්ඩායමක සහභාගිත්වයෙන් පසුගිය 27 වැනිදා සිදුවූ මෙම පහර දීමට සහභාගි වී ඇති බව කී එම පොලිස් නිලධාරියා සැකකරුවන් හැකි ඉක්මණින් අත්අඩංගුවට ගන්නා බව ද සඳහන් කළේය.