(යොහාන් භාසුර)

තංගල්ල පොලිස් වසමේ මොරකැටියආර ප්‍රදේශයේදී අද (5) රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මොරකැටියආර හන්දියේදී අද රාත්‍රී 7.00 ත් 7.30 ත් අතර කාලයේදී මෙම වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වූ බවත් මියගිය පුද්ගලයා රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි අතර තුවාල ලැබූ පුද්ගලයන් තංගල්ල රෝහලට ඇතුළත් කළ බවත් එම නිලධාරියා කීය.

තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව කී එම උසස් පොලිස් නිලධාරියා ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් හදුනාගැනීම සඳහා පරීක්‍ෂණ ක්‍රියාත්මක බව ද පැවසීය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් තිදෙනා පෞද්ගලික මෝටර් රථයකින් මොරකැටියආර හන්දියට පැමිණෙනවාත් සමඟම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවට වාර්තා වී ඇති බවත් වෙඩි තැබීම සිදුවූ ආකාරය සහ පුද්ගලයන් පිළිබඳව තංගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.