(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම කෝටි 200ක ආදායමක් පසුගිය වසරේදී උපයා ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම සමාගමේ පාලනාධිකාරියට ප්‍රශංසාව පුද කළේය.
මෙවැනි ඉහළ කාර්ය සාධනයක් පෙන්වන ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකින් පසුව බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එහිදී පැවසීය.
කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 8 වැනිදා කැඳවනු ලැබූහ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ආයතනයේ වැඩිම ආදායම ලෙස කෝටි දෙසීයක්ද බදු ගෙවීමෙන් පසු කෝටි 21 ට වැඩි ලාභයක්ද වාර්තා කිරීමට සමත්වූ බව කළුබෝවිටියාන සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා පැවසීය.
මාතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා හතරක් පවතින බවත් දළු ගැනීම ඇතුළු අභියෝග රැසකට මුහුණදී සාර්ථකව ඒවා ජයගත් බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම රාජ්‍ය ආයතනයක් ලෙස රජයේ නීතිරීතිවලට අනුගත වෙමින් සමාගම සාර්ථකත්වය කරා ළඟාවූ බවද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නිමල් ලාන්සා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සංජීව එදිරිමාන්න සහ එම් රාමේශ්වරන් යන මහත්වරුන්ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd