(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇතැයි  වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී යොමුවූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

තේ වගාවට අවශ්‍ය පොහොර ලැබෙමින් පවතින බවත් තේ නිෂ්පාදනය ගිය වසරට වඩා මේ වසරේ ඉහළ ගොස් ඇති බවත්  ඔහු ප්‍රකාශ කළේය.

පොල්වලින්ද  ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ මේ වසරේ දී බව පැවසූ අමාත්‍යවරයා ඩොලර්  බිලියනයක ආදායමක් ලැබෙන බවද සඳහන් කළේය

රබර් වලින්ද මේ වසරේදී ඩොලර්  බිලියනයක ආදායමක් ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ‍ය.

තේ ආදායම  වැඩ නොවුණට ස්ථාවර මට්ටමක පවතින බවද හෙතෙම සඳහන් කළේය .අපනයන කෘෂි කර්මාන්තයේ  වැඩිම ආදායම ලැබෙන්නේ මේ වසරේදී බවත්එය ඩොලර් මිලියන 800ක ආදායමක් බවත්  ඔහු පැවසුවේය.

රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේය. ඊට පිළිතුරු දුන්  රමේෂ් පතිරණ මහතා  පැවසුවේ ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී  එලෙස කටයුතු කරන බවයි .