(අංජුල මහික වීරරත්න)

 ලංකාවේ  වී වගාව හා අනෙකුත් අතිරේක බෝග වගාවන්ට අමතරව තේ, පොල් හා රබර් යන වැවිලි බෝග වගාවන් සංවර්ධනය සඳහා එක්සත්  ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

37 වන ආසියා පැසිෆික් කලාපිය සමුළුවවට සහභාගි  වීමට දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම  සංවිධානයේ අධ්‍යක්ෂ  ජනරාල් Dr. Qu Donguyi මහතා ඇතුලු පිරිස  ඇල්පිටිය  අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා අගලවත්ත රබර් පර්‍යේෂණායතනය නිරීක්ෂණය කළහ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් UNFAO අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වී හා අනෙකුත් භෝගවලට මෙන්ම තේ, රබර් හා පොල් වැනි වැවිලි භෝග සඳහාත් ඉදිරියේදී ආධාර ලබා දීම කෙරෙහි අධ්‍යක්ෂ  ජනරාල්වරයාගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කළේය.  

සාම්ප්‍රදායික ලෙස දැනට සිදු කෙරෙන රබර් කිරි කැපීම සඳහා හඳුන්වා දීමට නියමිත රොබොටික් යන්ත්‍රය යොදාගනිමින් රබර් කිරි කැපීමද මෙහිදී ප්‍රදර්ශනය කළේය. දැනට මෙම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා පවතින ශ්‍රම හිඟයට පිළියම් වශයෙන් මෙවැනි යාන්ත්‍රික ක්‍රම අත්හදා බලන බව සඳහන් කළ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැහැදිලි කළේය.