(මුදිතා දානන්ද)

දලු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

රුපියල් 350- 400  දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 65 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

පහත රට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 160- 165 අතර පවතියද උඩරට තේ කිලෝවක මිල රුපියල් 100-110 දක්වා පහත වැටී ඇති බවද එයින් වතු හිමියෝ බරපතල අර්බුදයකට ලක්ව ඇති බවද කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසීය.

මෙසේ මිල පහත වැටීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ තේ වල තත්වය බාල වීම නිසා වෙන්දේසියේදී මෙරට තේ මිල පහත වැටීම බවද ඔහු පැවසීය. මීට අමතරව ඩොලරයේ අගය ඉහළ පහළ යාමද මිල උච්චාවචනයට බලපා ඇති බවද ඔහු පැවසීය.

තේ වල තත්වය බාලවීමට කාබනික පොහොර සංකල්පය හඳුන්වාදීමත් සමග නිසි ලෙස තේවලට පොහොර නොලැබීම පොහොර මිල අධික ලෙස ඉහළ යාමත් අවශ්‍ය තරමට පොහොර නොමැතිවීමත් නිසා වගාකරුවන්ට නිසිපරිදි තේ ගස්වලට පොහොර යෙදීමට නොහැකිවීමත් නිසා තේ ගසේ වර්ධනය බාලවූ බවද එය තේ වල ප්‍රමිතියට බලපෑ බවද ඔහු පැවසීය.

එසේම මැලේසියාවෙන් බාල තේ ගෙන්වා සිලෝන් ටී ලෙස ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක්ද ලෝක තේ වෙළදපොල තුල මෙරට තේ වල ප්‍රමිතිය පිළිබදව ගැටලු මතු කිරීමට හේතු වී ඇති බවද ලාල් ප්‍රේමනාත් මහතා සදහන් කළේය.