(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩීසල් ලීටරයකින් අද වනවිට රුපියලක ලාභයක් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ  පෙට්‍රල් මිල පමණක් අඩු කර යම් පමණකින් අඩු කර ඇතත් ඩීසල් මිල අඩු නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ  පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා:

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන  මිල අඩුවුණා. මේ  කාලයේ තමයි ගොවීන්ට  ඩීසල් වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. පෙට්‍රල් මිල විතරක් අඩු වෙලා තිබුණත්   ඩීසල් මිල  අඩුවෙලා නෑ. ඒක ගැටලුවක්.

ඇමැති විජේසේකර මහතා:

බොරතෙල් මිල අඩු වූ පමණින් ඉන්ධන මිල අඩු කිරීමේ  හැකියාවක් නැහැ. බොරතෙල් පිරිපහදු කිරීමෙන් සපුරා ගත හැකි ඉන්ධන ප්‍රමාණය  සියයට තිහක් පමණයි.   බොරතෙල් මිල අඩු වීමට සාපේක්ෂව සියලුම ඉන්ධන වර්ගවල මිල අඩු  කිරීමට හැකියාවක්  නැහැ. පසුගිය සතිය වන විට ලෝක වෙළෙඳපොළේ පැවති  මිල අනුවත් ඩිසල් ලීටරයකින්  රුපියල් 30ක පාඩුවක් ලැබුවා . දැන් තමයි ලීටරයකින් රුපියලක පමණ ලාභයක්   තිබෙන්නේ. පවතින මිල අනුව මිල අඩු කළොත්  ඊළඟට ආනයනය කරන්න මුදල් නැති වෙනවා. බොරතෙල් මිල ගණන් අනුව  පෙට්‍රල්වලින් රුපියල් හැත්තෑවක  පමණ ලාභයක් ලැබුවා.  ඒ නිසයි  මිල  අඩු කළේ. ඉදිරි  කාලයේදී  තවත් අඩු කරන්න හැකිවේවි.