නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 18,800ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායකියයි.

විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතරුක් මත මෙම ඩීසල් තොගයක මාළු ලොරියකින් හා තවත් ලොරි රථයකින ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත. මෙම තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 පමණ වෙයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ  උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජී.එස්. පුෂ්ප කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.