(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර උපයෝගි කර ගැනීමේ වැඩ සටහන මෙවර යල කන්නයේ දී  පළමුවරට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි අංශ කුසලතා සභාව විසින්  ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති අතර මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දෙන බව කෘෂි අංශ කුසලතා  සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

දෙවන අදියර යටතේ  වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ටම ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි ද දිසානායක මහතා කීය. 

රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි  කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවීන්ට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පවසයි.