(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව විසින් ඩෝනියර් ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීම දෙරට සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙවැනි ගුවන් යානයක් ලැබීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියුණුවක් බව කී ජනාධිපතිවරයා එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සමුද්‍රීය පැවැත්ම පිළිබඳ විශාල සහයෝගීතාවයක ආරම්භය බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් ප්‍රදානය කෙරුණු  සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ලංකා රජයට නිල වශයෙන් බාර දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15)සිදු කෙරිණි.

ඩෝනියර් 228 වර්ගයට අයත් මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමෙි උත්සවය  කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ දිගු කලක් තිස්සේ ලංකාවට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වන බවයි.