(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
රටේ ඝාතන රැල්ල මැඩපැවැත්වීමට අපොහොසත්ව ඇතැයි චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට ලබන සතියේ බාරදීමට  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක්  සූදානම් වෙති.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (3)රැස්වීමේ සම්බන්ධයෙන්  දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම විශ්වාසභංගය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහාය ගන්නා බව  ලලිත් එල්ලාවල මහතා ලංකාදීපයට පැවැසීය.
ඝාතන රැල්ල පාලනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට තම කණ්ඩායම මාසයක කාලයක් දුන් බවත් එම කාල සීමාව ඉක්මවා ගොස්  ඇතත් රටේ අපරාධ රැල්ල එලෙසම පවතින බවත් මන්ත්‍රීවරයා කීවේය.
මේ හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට
ළඟදීම බාරදෙන බව පැවසූ එල්ලාවල මහතා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට  ඕනෑ තරම් කරුණු ඇතැයිද  ප්‍රකාශ කළේය.