(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන 'Battersea' සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24)පැවැත්විය. 

මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ 'No Dog Left Behind' නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳ නියොජිත පිරිස මෙහිදී පෙන්වා දුන් අතර එමගින් මේ වනවිට ජලභීතිකා එන්නත් (Post-Exposure Prophylaxis) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දුන්හ. 

පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය ගැටලු මඟහැරීම සඳහා පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය පුහුණු කර යොදවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. 

පළමුවෙන් බස්නාහිර පළාතේත් පසුව සමස්ත දිවයින පුරාත් ව්‍යාප්ත කිරීම සහ මෙය  ජාතික කර්තව්‍යයක් සේ සළකා සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා 'කාර්ය සාධක බලකායක්' (Presidential Task Force) පිහිටුවීම පිලිබඳවද අවධානය යොමු කෙරිණ.