(සුජිත් හේවාජුලිගේ )

කොළඹ අප ජලය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වූ ආයෝජන වැඩසටහන යටතේ රුපියල් කෝටි විසිතුනක වියදමින් මිලදී ගත් ජල ටැංකි සඳහා සුදුසු වේදිකා සහිත කැබ් රථ තිහ ඉකුත් 2022 වර්ෂය වනවිටත් අපේක්ෂිත කාර්ය සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව එම කැබ් රථවලට  ජල ටැංකි සවිකිරීම සඳහා සුදුසු වානේ වේදිකාවක් සැකසීමට සහ සවිකිරීමට වැය කළ රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක මුදලද  පාඩුවක් බවට පත්ව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

ජල මූලාශ්‍ර අඩුවීම, ජලයේ ලවණතාව පිළිබඳව උපදෙස් සහ ජල මූලාශ්‍රවලින්  ජලය බෙදා හැරීමේ පද්ධතියේ ඇති අඩු පීඩනය හේතුවෙන් අසරණ සහ අවදානමට ලක් වූ පාරිභෝගිකයන් සඳහා ජලය සැපයීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ  ජල සම්පාදන ව්‍යාපෘතියේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් මූලික ගෙවීම සහ අත්තිකාරම් ගෙවීම  පිළිවෙලින් ඇමරිකානු ඩොලර්  10313661ක් සහ  ඇමරිකානු ඩොලර් 3802889ක් ව්‍යාපෘති ආරම්භයේ සිට මාස 53ක් ගතවීමෙන් පසු අය කර ගැනීමට නොහැකි වී තිබූ බව වාර්තාවේ දැක්වේ.

එබැවින් මණ්ඩලය තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘති අරමුදල් ඵලදායී ලෙස භාවිතා කර නොතිබුණු බව  විගණන වාර්තාව කියයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත්  කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.