(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින්  සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වයඹ පළාත් සභාව වෙත මෑතකදී ගිලන් රථ තුනක් සංගමයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කර ඇති බව සිහිපත් කළ ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට කැමැත්තෙන් පසුවන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් ලබා දෙන සහාය මෙහිදී ජනාධිපති ලේකම්වරයාගේ කෘතවේදි ඇගයීමට ලක් විය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ආර්. ඩී. ආර්. පෙරේරා, ජනාධිපති සහකාර ලේකම් ආර්. ඒ. රුවන්පතිරණ,  ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් වන එම්. ආර්. දිසානායක, ඕ. එන්. එස්. අමරසිංහ, ජී. ඩබ්ලිව්. තිස්ස දයානන්ද යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.