(විමුක්ති එස් රුද්‍රිගු)

ජපාන සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 980 ක් පමණ) වටිනා රොබෝ යන්ත්‍රයක් නිපදවා තිබේ.

ජපානයේ ප්‍රසිද්ධ සජීවිකරණ කතා මාලාවක් වන මොබයිල් සූට් ගුන්දාම් හි සිටි රොබෝවරයෙකුට බෙහෙවින් සමාන අයුරින් මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමට එම ජපාන සමාගම සමත්වී ඇත.

මෙම රොබෝ යන්ත්‍රය ආර්චැක්ස් යන නමින් හඳුන්වනු ලබයි. ආර්චැක්ස් උසින් මීටර් 4.5 ක් වන අතර බරින් ටොන් 3.5 කි. පුද්ගලයෙකුට මෙම රොබෝ යන්ත්‍රය තුළට ඇතුළු විය හැකි අතර රොබෝ යන්ත්‍රය තුළ සිට එහි තිබෙන පාලක පද්ධතිය මගින් ආර්චැක්ස්ගේ අත් පා පාලනය කිරීමට ඇතුලත සිටින පුද්ගලයාට හැකියාව ලැබේ.

ආර්චැක්ස් මෙම මස අවසානයේ ජපානයේ පවත්වන ප්‍රදර්ශනයකදී එළිදැක්වීමට නියමිතය.රෝද හතරක් සහිත ආර්චැක්ස්ට මුහුණුවර දෙකක් තිබේ.ආර්චැක්ස්ට රොබෝවරයෙකු හෝ මෝටර් රථයක් ලෙස ක්‍රියාකිරීමට හැක.මෝටර් රථයක් ලෙස ක්‍රියා කරන විට පැයට කිලෝ මීටර 10 ක වේගයෙන් ගමන් කිරීමට ආර්චැක්ස්ට හැකියාව ඇත.