(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ආර්ථික වාතාවරණය වෙනස් වීමත් සමඟ මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියර සඳහා සිව්මහල් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 2020 වසරේදී ජපාන යෙන් බිලියන 62 ක කොන්ත්‍රාත් ගිවිසුමක් ජපාන තායිසෙයි ඉංජිනේරු සමාගමට හිමිවූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උඝ්‍ර වෙත්ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රියාකරු වන ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ණය ලබා දීම අත් හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය අඩපණ වූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තායිසෙයි ඉංජිනේරු සමාගම ගුවන් තොටුපළ ක්‍රියාකරු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ව්‍යාපෘතිය ඈවර කිරීමට එම සමාගම තීරණය කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.ඔවුන් මෙම ව්‍යාපෘතිය පාඩු ලැබූ ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ තායිසෙයි සමාගමෙන් කළ විමසීමකදී තනි ව්‍යාපෘති පිළිබඳ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව පවසා ඇත.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය සහාය ලබා නොදීමට තීරණය කර නොමැති නමුත් තායිසෙයි සමාගම ව්‍යාපෘතිය ඈවර කිරීමට තීරණය කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය භාර දීම සඳහා තවත් සමාගමක් සොයා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයට සිදුවනු ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.
චීන සමාගමක් මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දු බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ණය මුදල ලබා දී තිබෙන්නේ ජපාන සමාගම් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී විය යුතුය යන කොන්දේසිය මත බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
එසේම මාර්තු මස අවසානයේ වසා දමන මෙරට මිට්සුබිෂි සමාගමේ කාර්යාලය මෙරට තොරතුරු කළමනාකරණය කරමින් ජපානයේ මවු සමාගම සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ඉදිකිරීම් ,ඉංජිනේරු සහ ප්‍රසම්පාදන කටයුතු භාරව ක්‍රියා කළ බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකාවේ වානේ සහ රසායනික නිෂ්පාදන වෙළඳ අංශයේද මිට්සුබිෂි සමාගමේ මෙරට කාර්යාලය කටයුතු කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපාරේ උද්ඝෝෂණය කරන විපක්ෂය සර්වපාක්ෂික රජයක් පිහිටුවා ගැනීමට සහයෝගය ලබදුන්නේ නම් IMF සහයෝගය පමණක් නොව සමාගම් මෙවැනි ආකාරයට රටින් පිටව යන්නේද නැත...
ජීවන වියදම අධික රටක සේවකයින් යොදා ගැනීම දුෂ්කර නිසා ආයෝජකයෝ එවැනි රටවල ව්‍යාපාර කිරීමට අකැමැතියි. රට තිබුණාටත් වඩා වලපල්ලට යන බවයි පේන්න තියෙන්නේ...!
කොමිස් කාක්කන් තවතවත් යහතින් වැජඹෙනවා. ලොව වසන දෙවිවරුන්ගේ සහයෝගයත් ඔවුන්ට ලැබේවා..!
පහුගිය කාලේ අපේ නායකයින් යැයි කියාගත් පිරිසක් ජපානයේ ගිහිල්ලා මේ ටිකද කරගත්තේ..? රජය කෙරෙහි විශ්වාසය මෙතැනදී පේනවා...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
මෙන්න මේ කොටසට හොඳ අවධානයක් යොමු කරන්න. "ණය මුදල ලබාදී තිබෙන්නේ ජපාන සමාගම් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගි විය යුතුයි යන කොන්දේසිය මත බවයි.. ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. "ලංකාවට රූපවාහිනිය දෙනකොටත් ඔය කොන්දේසියම තමයි දැම්මේ. ඉගෙනගත යුතු පාඩම තමයි චීන, ජපන්, ඉන්දියන්, ඇමෙරිකන් කවුරුත් මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කියන එක...
රනිල් රාජපක්ෂලා ඡන්දෙ කල්දාගෙන රට ගොඩයන්න යනවලු. මේ අය රට තවත් වලපල්ලට ඇදලා දාන්නයි යන්නේ...
ශ්‍රී ලාංකිකයින්ම ලක්ෂ ගාණක් රටෙන් යන වෙලාවේ වෙන රටවල්වල කම්පැණි වල ඉඳලා මොනවා කරන්නද? අදූරදර්ශී අකාර්යක්ෂම රනිල් වගේ අය පත් වුණාම රට විනාශ වෙනවා. මිනිහා නිසා පක්ෂයකට වුණු දේ දැක්කනේ... මේ අය එළවලා රට බේරගන්න දැන්වත් එකතුවෙමු.
ජපානය කවදත් අපට ආදරය කළ, උපකාර කළ රටක්. ඔබට කළ කෙනහිලිකම් අවසන් වූ දාට ඔබ නැවත අප සමඟ සිට ගන්නා බව විශ්වාසයි. ඔබට ස්තූතියි...!!!