(මනෝප්‍රිය ගුණසේකර)

වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිකරුවන්ගේ නීතීඥවරු කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මූලික විරෝධතාවයක් අද මතු කළේය.

මෙම නඩුව අද ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මතු කරනු ලැබු මෙම මුලික විරෝධතාවය සළකා බැලු විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් වන ලිඛිත දේශන නොවැම්බර් මස 01 වනදා ඉදිරිපත් කිරීමට නියම කළේය.

2010 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු” සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.