(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනයේ සංචාරයට විරෝධය පාමින්  යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාවය අරසඩි මාර්ගය හරහා යාපනය නගරයට පැමිණි අතර විශ්වවිද්‍යාල සිසුන් සහ යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙන්ම යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක්ද එයට එක්ව තිබුණි.

අනතුරුව අදාල විරෝධතාවය මැඩපැවත්වීම සඳහා යාපනය පොලීසිය කැඳවා තිබුණද විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම මත පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබූ අතර එහිදී විරෝධතා කරුවන් මැඩපැවත්වීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ යුද්දයෙන් පසුව වසර 13 ක් ගත වුවද දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු විසඳුමක් ලබා නොදීමත් දෙමළ ජනතාවට විසඳුම් ලබාදීම සඳහා කිසිදු රජයක් හෝ වත්මන් රජය පියවර නොගැනීම හේතුවෙන් රටේ නායකයාට යාපනය දිස්ත්‍රීක්කයේ තෛයිපෝංගල් සැමරුම සිදුකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවටය.