(අංජුල මහික වීරරත්න)

ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13 ) අලුයම දිවයිනෙන් බැහැර යයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය.

මුලින්ම කියුබාවේ හවානා නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජී 77 සමුළුවට සහභාගී වෙයි. “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව මෙම 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.

ජී 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයකි. ශ්‍රී ලංකාව ද ජී 77 කණ්ඩායමේ සාමාජිකයෙකි. මෙම සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙයි. සැප්තැම්බර් 19 වෙනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය පැවැත්වෙන අතර ජනාධිපතිවරයා 21 වැනිදා එම සැසිවාරය ඇමතීමට නියමිතය.